2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමී

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 211

මීට වසර කිහිපයකට ඉහත දී ස්වාධීන රෑපවාහිනී සේවයේ විකාශය වූ අළුබඳුන ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලෙස අපි මෙම ගීතය හඳුනා ගනිමු. එම ටෙලි නාට්‍යයේ කතා තේමාව වූයේ ප්‍රේමයයි. එහෙත් එම ප්‍රේම කතාව අනෙකුත් ප්‍රේම කතාවන්ගෙන් වෙනස් මුහුණුවරක්ගත් ප්‍රේම වෘතාන්තයකි. එහි පෙම්වතිය මෙලොව මිනිස් දියණියකි. පෙම්වතා සුවිශේෂය. ඔහු සක්වල දිව්‍ය විමානයක වෙසෙන දේවතාවෙකි.  බැලූ බැල්මට ගීතයේ පද වැල උක්ත කතා තේමාව නියෝජනය කළ ද නාට්‍යයෙන් බැහැරව තබා වමසන විටදී එමගින් ගලා බසින ප්‍රේමණීය අරැත් ප්‍රවාහය අපට නිතර ඇසෙන ප්‍රේම ගීතයන්ගේ අනුභූතීන් ඉක්මවා වෙනත් කොදෙව්වකට අප කැඳවා යයි.  

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමී
හාත්පසම රුකවරණ ලබා දී 
ප්‍රේමය යනු මිනිස් සන්තානයේ සදාතනික සොඳුරැ ධර්මතාවයකි. ඒ වෙනුවෙන් ලෝකයේ මේ මොහොතේ ද කව් ගී නාටක පද බැඳෙයි. අතීතය ප්‍රේම පුරාවෘතයන් ගෙන් පිරී පවතියි. එහෙත් ප්‍රේමය උත්තරීතර වන්නේ එහි ඇති පරිත්‍යාගශීලීත්වය නිසාය.
මෙහි එන දිව්‍යමය පෙම්වතාට ද ඇය ලබාගන්නට නොහැකි වෙයි. එහෙත් අහිමි වීම ප්‍රේමයේ සිඳීයාමට හේතුවක් නොවෙයි.

කාත් කවුරැවත් නොමැති නුඹ ළඟින්
සදා හිඳිමි නොපෙනී

ප්‍රේමණීය හැඟුම්වලින් මණ්ඩිත දිව්‍යමය හදවත කොන්දේසි විරහිත ආදරයක සැබෑ  ස්වරෑපය හඳුනාගනියි. ඇයට ළංවන්නට නොහැකි වුව ද නොපෙනී ඈ ළඟින් හිඳ ඇයට රුකවරණය සලසයි.
මනුෂ්‍ය දියණියගේ මුවගට නගා ඇති පද පෙළ, ලාංකික ගීත සාහිත්‍යයේ අන් තැනක අපට හමුනොවන අපූරැ ප්‍රකාශනයකි. එය ගීතයේ කේන්ද්‍රීය පද සංයෝජනය යැයි මට සිතේ. 

දුර සිටියත් ආලෝක ශත වසක් 
තරැ එළියත් මහ පොළොවට ඒනම් - ඇයි මට නුඹ අහිමී

අලෝකයට ඇත්තේ ඉහළම වේගයයි. ආලෝකය වර්ෂයක් තුළ දී ගමන් ගන්නා දුර ප්‍රමාණය ආලෝක වර්ෂයකි. ආලෝක වර්ෂ ගණන් ගෙවා පැමි‍ණෙන තරැ එළියක් වුව මහ පො‍ළවට සැපත් වෙයි. ඒත් නුඹ මා වෙත හෝ මට නුඹ වෙත ළඟාවිය නොහැකිය. මෙය අමිලගේ අපූර්ව සංකල්පනාවකි. ප්‍රතිභා සම්පන්න පරිකල්පනාවකි. 

දේවත්වයෙ ඇති සොඳුරැම රෑපය
ආදරයම බව නුඹගෙන් හඳුනා

ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ අදහසට අනුව ආදරය යනු දෙදෙනෙකු විසින් බෙදා ගන්නා එකම ආත්මයකි. එය ප්‍රේමය පිළිබඳ පළ කළ ගැඹුරැ අදහසකි. මෙම ගීතයේ ද දෙවියකු වුව ආදරය හඳුනාගන්නේ දේවත්වයේ ඇති සොඳුරැම රෑපය ලෙසිනි. එය වඩා සමීප වන්නේ දෙවියන්ට නොව මිනිස් සංහතියටය. දේවත්වයේ පමණක් නොව මනුෂ්‍යත්වයේ සොඳුරැම රෑපයද ප්‍රේමයම වෙයි.
එබැවින් ඇය දිව්‍යමය ආත්මය වෙනුවෙන්ම පේවී සිටින්නීය. සැබැවින්ම ඈ පේවී සිටින්නේ ප්‍රේමය වෙනුවෙනි. නාට‍්‍යාවසානයේ එන ජවනිකාව සිහිගන්වන අවසන් පද පෙළ ජීවිතය පිළිබඳ කිසියම් අනිත්‍යතාවක් සංකේතවත් කරයි. අළු යනු නිමාව, අවසානය සංකේතවත් කරන පදයකි. ඔහු සිය ආත්මයේ අවසානය තෙක්ම කිසිදාක ලැබිය නොහැකි මනුෂ්‍ය දියණියකගේ ප්‍රේමය වෙනුවෙන් බලා සිටියි. සකල දිව්‍ය ආත්මයම ඒ වෙනුවෙන් කැප කරයි. 

දිව්‍ය ලොවක මිණි රැවන් සැඟව ගිය
ජීවිතයේ අළු බඳුන විසුරවා
ආත්මයම මගෙ සුළඟට මුසුකර - සුළඟට පා කරමී

නූතන ගීතයේ අනාගතය අන්ධකාරයක් වෙත විහිද යන බව බොහෝ විචාරකයන් පැවසුවද නූතනයේ අති දක්ෂ නිර්මාණවේදීන් කිහිපපලකගේම එකමුතුවෙන් බිහි වූ මෙම ගීතය එකී ප්‍රකාශනය ප්‍රශ්න කරයි.
දර්ශන රැවන් දිසානායකගේ සංගීත භාවිතාව මෙම ගීතයේ සියම් කේතාර්ථ සජීවී භාවයට පත් කරයි. ගීතයේ අන්‍යාලාපයෙන් මතුකරන මනුෂ්‍ය ප්‍රේමයම ඉන් ඉස්මතුව එන්නා සේ මට හැඟෙයි.
සමන් ලෙනින් නම් වූ නූතන පරම්පරාවේ ප්‍රවීණයාගේ භාව පූර්ණ හඬ ගුණය ගීතයේ දිව්‍යමය පසුතලය සඳහා හොඳින් ගැලපී ඇත. ඉන්දිකාගේ ගායනය මඟින් අප අමුතුම හැඟුම් ලෝකයකට රුගෙන යයි. 
අනාගත සිංහල ගීතයට සුබ අනාගතයක් පවතින බවට මෙම ගීතය කදිම සාක්ෂියකි.

♦ගයා රම්‍ය අල්විස්